පාසල් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම තුළ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ශක්තිමත් අනාගතයක් උදාකර දිය හැකියි” – අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමෙන්, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ශක්තිමත් අනාගතයක් උදාකළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රවීණයන්ගේ ද සහභාගීත්වයෙන් පැවති පාසල් ක්‍රිකට් දියුණු කිරීම උදෙසා වන තුන් අවුරුදු ජාතික සැලැස්ම එළිදැක්වීමේ උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධියේ තෝතැන්න පාසල වන බවයි. එබැවින් මෙම ක්‍රියාදාමය පිටුපස කිසිදු දේශපාලන න්‍යාය පත්‍රයක් හෝ කඳවුරක් නොමැති බවත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගත් පියවරක් බවත් අමාත්‍යවරයා මෙහි දී කියා සිටියා. මේ සඳහා විශේෂඥ දැනුම අත්‍යාවශ්‍ය බැවින් ඒ සදහා මෙරට ක්‍රිකට් ප්‍රවීණයන්ගේ වෘත්තිය දැනුම මූලික කරගනිමින්, අධ්‍යාපන අමාත්‍යාංශය පහසුකම් සපයන්නා ලෙසත් අධීක්ෂකයා ලෙසත් කටයුතු කිරීමට තීරණය කළ බව ද අමාත්‍යවරයා මෙහි දී පැහැදිලි කළා.
ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නොව සෙසු ක්‍රීඩා ද පාසල් මට්ටමින් දියුණු කිරීම වෙනුවෙන් තමා නායකත්වය ලබා දෙන බව ද සිහිපත් කළ අධ්‍යාපන අමාත්‍යවරයා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා පමුඛ අවධානය යොමු කිරීමට තමා බලාපොරොත්තු වූයේ, ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ක්‍රිකට් ක්‍රීඩාව මත ද ගොඩනැගී ඇති පසුබිම තුළ බව සඳහන් කළා. පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ පහසුව වෙනුවෙන් ක්‍රීඩා උපකරණ මිල දී ගැනීමේ දී බදු සහන ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමුකරවීමට තමා බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි දී වැඩිදුරටත් කියා සිටියා.
මෙහි දී පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් ක්‍රිකට් ප්‍රවීණයින්ගේ උපදෙස් සහ දැනුම පදනම් කරගනිමින් නිර්මාණය වූ පාසල් ක්‍රිකට් දියුණු කිරීම වෙනුවෙන් වන තුන් අවුරුදු ජාතික සැලැස්ම අධ්‍යාපන අමාත්‍යවරයා වෙත පිරිනැමුණේ ප්‍රවීණ ක්‍රිකට් පුහුණුකරුවෙකු මෙන්ම ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු ද වන ජයන්ත සෙනවිරත්න මහතා අතින්.
මෙම උත්සවයේ දි මෙරට ක්‍රිකට් ප්‍රවීණයින් වන, සිදත් වෙත්තමුණි, රොෂාන් මහනාම සහ මහේල ජයවර්ධන යන මහත්වරුන් ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ අංශ පිළිබඳව දේශන පවත්වණු ලැබුවා. විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ ක්‍රීඩා බලධාරීන් ඇතුළු පාසල් ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රය නියෝජනය කරන නිලධාරීන් රැසක් මෙම උත්සවයට එක්ව සිටියා.

admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *